Friday, January 29, 2021

Wednesday, November 18, 2020

නව අරහාදී බුදු ගුණ වන්දනාව


නමෝ බුද්ධාමි!


අරහං බුදු ගුණය


භාග්‍යවත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ රහසින්වත් පව් නොකළ සේක, සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක. උන්වහන්සේ සියලු දෙවි මුනුසුන්ගේ ආමිස පුජා හා ප්‍රතිපත්ති පුජා ලැබීමට සුදුසුවුන සේක. ඒබැවින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අරහං ගුණයෙන් යුතු වන සේක.
සාදු! සාදු! සාදු!

සම්මා සම්බුද්ධෝ ගුණය


භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ අතීත, වර්ථමාන හා අනාගත යන තුන් කාලයේම දැනගතයුතු සියලු දේ තමන් වහන්සේ විසින් කිසිදු ගුරුවරයෙකුගේ මග පෙන්වීමකින් තොරව ස්වයංව අවබෝධ කරගත් සේක. එබැවින්, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුතු වන සේක.
සාදු! සාදු! සාදු!

විජ්ජාචරණ සම්පන්නෝ ගුණය


භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ අෂ්ඨ විද්‍යාවන්ගෙන් හා පසළොස් චරණ ධර්මයන්ගේන් පරිපුර්ණ වූ බැවින් උන්වහන්සේ විජ්ජාචරණ සම්පන්න ගුණයෙන් යුතු වන සේක.
සාදු! සාදු! සාදු!

සුගතෝ බුදු ගුණය


භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු වූ සේක. උන්වහන්සේ මනහර ප්‍රතිපත්ති මාලාවකින් යුක්ත වූ සේක. මැදුම පලිවෙතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩා උතුම් සම්බුධත්වයට පැමිණි සේක. ඒ බැවින් බුදුරජාණන් වහන්සේ සුගත ගුණයෙන් යුතු වන සේක.
සාදු! සාදු! සාදු!
 

ලෝක විදූ බුදු ගුණය


තුන් ලෝකයම (සත්ව ලෝකය, ඔකාස ලෝකය, සංඛාර ලෝකය) පිලිබඳ සියලු තතු මැනවින් දැනගත් බැවින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝක විදූ ගුණයෙන් යුතු වන සේක. 
සාදු! සාදු! සාදු!

අනුත්තරෝ පුරිස ධම්ම සාරථි ගුණය


භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ දමනය කල නොහැකි සත්වයින් දමනය කර යහපතෙහි පිහිටවූ සේක. ඒ බැවින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි ගුණයෙන් යුතු වන සේක.
සාදු! සාදු! සාදු!

සත්ථා දේව මනුස්සානං ගුණය


භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ සියලු දෙවියන්ටත් මනුෂ්‍යයන්ටත් ගුරුන් වූ සේක. ඔවුනගේ මෙලොව හා පරලොව යහපත පිණිසත් උතුම් නිර්වානය අවබෝද කරගැනීම පිණිසත් අනුශාසනා කල සේක. ඒ බැවින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්ථා දේව මනුස්සානං ගුණයෙන් යුතු වන සේක.
සාදු! සාදු! සාදු!

බුද්ධෝ ගුණය


ඒ භාග්‍යවත් බුදු රජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වුත් පරම ගාම්භීර වුත් චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගෙන ලෝක සත්වයාටත් අවබෝධ කල සේක. ඒ බැවින් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බුද්ධ නම් වන සේක.
සාදු! සාදු! සාදු!

භගවා ගුණය


ඒ ශ්‍රේෂ්ඨ බුදු රජාණන් වාහනේ එශ්චර්ය, ධර්ම, යස, ශ්‍රී, කාම, ප්‍රයන්ත යන භාග්‍යන් හයකින් යුතු වූ සේක. ඒ බැවින් බුදුරජාණන් වහන්සේ භගවා නම් වන සේක.
සාදු! සාදු! සාදු!


තෙරුවන් සරණයි!